මාෂා අපේ යුනිවර්සිටි එකට ආවෙ අපි දෙවැනි අවුරැද්දේ ඉද්දි පළමු වසරේ සිසුවියක් විදිහට. මට තාමත් හිතාගන්න බෑ මාෂාව දැකපු ගමන් මට දැනුණ දේ. තත්පර තුනක් ගත වෙන්න කලින් මගේ හිතේ මාෂා ගැන ආදරයක් ඇති වුණා. ඒක හරි පුදුම දෙයක්. මගෙන් ආදරේ බලාපොරොත්තු වෙන කෙල්ලො හුඟක් යුනිවර්සිටි එකේ ඉන්නවා කියලා මම දන්නවා.
ඒත් මට කවදාවත් ඒ අය ගැන ආදරේ හිතිලා තිබුණේ නෑ. මාෂා තමයි එකම කෙනා ඒ විදිහට මට ආදරේ දැනුණු. මම ඉගෙන ගත්තෙ චිත්‍ර විෂය. චිත්‍ර කාමරයේ චිත්‍ර අඳිද්දි ඊට පහළ ඕක් ගහක් පාමුල බංකුවක ඉඳගෙන මාෂා ගොඩක් වෙලාවට පොතක් කියවනව මම දැක්කා. ඉතින් මට ඇඳුනෙම මාෂාගෙ චිත්‍ර විතරයි. මට ගොඩක් දවස් වලට මාෂාව මුණගැහුණා. ඒත් කිසිම වෙලාවක හිනාවකින් එහාට ගිය යමක් කියන්න මට පුළුවන් වුණේ නෑ. පුළුවන් වුණේ නෑ කියනවටත් වඩා මම උත්සාහ කළේ නෑ කියන එක තමයි හරිම. කොහොම හරි මාෂාව දකින වාරයක් පාසාම මගේ හදවත නැවතුණා. තවත් ඒ ආදරය මගේ හිතේ හංගගෙන ඉඳලා තේරැමක් නෑ කියලා මට හිතෙන්න පටන් ගත්තා.
&හැරී උඹ ඉන්නෙ මොකක් හරි අවුලකින්ද? යුනිවර්සිටි එකේ මගේ හොඳම යාළුවා වුණේ රයන්. ඒත් රයන්ටත් මාෂා ගැන කියන්න මට දැනුණේ බයක්. ඒක බයක් කියනවට වඩා හීනමානයක් කියල කිව්වොත් හරි. අපි දෙන්න කතා කර කර ඉද්දි මාෂා ඈතින් ආවා. විශ්වාස කරන්න මගේ පපුව තත්පරේකට නැවතුණා. මාෂා දිහාට දුවගෙන දුවගෙන ගිහින් හිතේ තියෙන ආදරේ කියන්නයි මට ඕනි වුණේ. ඒත් මාෂා ළඟට එන්න එන්න මට වචන ඔක්කොම හිරවුණා. මාෂා එතනින් ගියේ අපි දෙන්න දිහාම බලලා හිනාවීගෙන. ඒත් මට හිනාවෙන්න අමතක වුණා. රයන්ගෙ මූණ නම් තිබුණේ දිලිසි දිලිසි. මට රයන්ට, මේක නොකියා බෑ කියලා දැනුණා. රයන් කොහොමත් ෆෝවර්ඩ් කොල්ලෙක්. රයන්ගෙ මාර්ගයෙන් හරි මට මාෂාට ආදරෙයි කියලා කියාගන්නයි ඕනි වුණේ.
&රයන්.....*
මම රයන්ට කතා කරද්දිත් රයන් හිටියෙ පිටුපාගෙන යන මාෂා දිහා බලාගෙනයි.
&රයන් මට උඹට කියන්න දෙයක් තියෙනවා.*
මම රයන්ගෙ උරහිසෙන් අල්ලගත්තා. රයන් මගේ දිහා බැලුවෙ ඇස් පුංචි කරගෙන. ඒ ඇස්වල තිබුණේ එයාටත් මොනවා හරි කියන්න ඕනි වගේ පෙනුමක්.
&මටත් උඹට කියන්න දෙයක් තියෙනවා හැරී. මම අද ආවෙම ඒක කියන්න.* රයන් එහෙම කිව්වම මට ඇති වුණේ ලොකු කුහුලක්.
&ඒ මොකක්ද උඹ කියන්න ආපු එක කියපන්කො.* රයන් මට කිව්වා.
&මට ඕනි උඹෙන් උදව්වක්. ඒක නිසා උඹ කියන්න ආපු එක කියපං.* රයන් ලව්වා මගෙ හිතේ තියෙන ආදරේ මාෂාට කියන්නයි මට ඕනි වුණේ. ඒක කියන්න කලින් රයන් මට කියන්න ආව දේ දැනගන්න මට ඕනි වුණා. රයන්ගෙ ඇස් ආයෙමත් දිලිසුණා.
&හැරී මම කෙල්ලෙක්ට ආදරේ කරනවා.*
&වාව් නියමයිනෙ. ඒ කවුද?*
මට ඇත්තටම ලොකු සතුටක් ඇති වුණා. රයන්ටයි මටයි එක පාරම පෙම්වතුන් වෙන්න පුළුවන් එහෙනම්.
&මටත් උඹට කියන්න තියෙන්නේ එහෙම එකක් තමයි රයන්. මට ඒක කෙල්ලට කියාගන්න බැරැව ඉන්නෙ.*
මම අමාරැවෙන් ඒ ටික කියලා දැම්මා. එතකොට රයන්ගෙ ඇස්වල පිරිච්ච කුතුහලයයි සතුටයි කොයිතරම්ද කියලත් මම දැක්කා.
&උඹ කාටද කැමති. උඹට ලව් කරන්න මුළු යුනිවර්සිටි එකේම කෙල්ලො ඉද්දි උඹ කාටද ලව් කරන්නෙ?*
&හරි හරි ඒක මම කියන්නම්. උඹේ ලව් එක කවුද කියලා කියපංකො.*
මට ඕන වුණේ රයන්ගෙ පෙම්වතිය ගැන දැනගන්න.
&මාෂා!*
රයන්ගෙ කටින් එහෙම පිටවෙනා මට ඇහුණේ හීනෙන් වගේ. මගේ මුළු පපුවම පිච්චිලා දියවෙලා යනව වගේ මට දැනුණා. මොහොතකට කලින් මාෂා හිනාවෙලා ගියේ එයා ආදරේ කරන රයන් එක්ක නේද කියලා මට හිතුණා.
&දැන් ඉතින් මට කියපං උඹට හිත ගියේ කාටද කියලා. ඒක අපි අදම කියමු. ඊට පස්සෙ අපි හතර දෙනාටම, ට්‍රේන් එකේ ලව් ට්‍රිප් එක යන්න පුළුවන්. කියපං හැරී කවුද කෙල්ල.*
රයන් ඒ විදිහට කී පාරක් මගෙන් ඇහුවද කියල මට මතක නෑ. මම නිහඬව ඔහේ බලාගෙන හිටියා. තත්ත්පර තුනෙන් මට දැනිච්ච ආදරේ තත්ත්පර තුනක් යන්නත් කලින්ම දියවෙලා ගියා.
♦ තනූ